My followers

Wednesday 28 March 2012

For Clergy - පුජ්‍ය පක්ෂයට

චිත්‍රය ඇඳල එව්වේ මල්මධාර බණ්ඩාර විසිනි 

1970 ගණන් වල මුල බාගෙ, මම වේරහැර පුහුණුව ලබන්න යන කාලෙ තමා ලංකාව මෙට්‍රික් ක්‍රමේට හැරෙන්න පටන් ගත්තෙ. ඒ කාලෙ ප්‍රයිවෙට් බස් තිබුන් නෑ. ලංගම බස් ඇතුලෙ දැන්වීමක් අලෝල තිබ්බ 'ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි ' කියල. හුඟක් ඒ දැන්වීම් වල කව්ද මන්ද 'හැ' යන්න කුරුටු ගාල තිබ්බ. ඔය වගේම කෝච්චි පෙට්ටි ඇතුලෙ සමහර ආසන උඩ ගහල තිබුන දැන්වීමක් 'කාන්තාවන්ට පමණයි ' කියල. ඔය දැන්වීමෙත් පමණයි කියන වචනෙ මැද්දෙ තියෙන 'ම'යන්නයි,'ණ' යන්නයි හැම වෙලාවෙම හූරල දාල තිබුනෙ. අපි ඉස්කෝලේ යන කාලෙ තිබුන තව 'පවර් සෙට්' කියල කෝච්චි වර්ගයක්. කෝච්චියගෙ බ්ලොග් එක පැත්තෙ ගියා නම්, පවර් සෙට් විතරක් නෙමේ, ලංකාවේ ඉස්සර දුවපු, දැනටත් දුවන, ඕනෙම කෝච්චියක් ගැන විස්තර, එන්ජිමේ දිග, බර,  ඇතුළු විස්තර එක්කම බලාගත්තෑකි. ඔය පවර් සෙට් මැදිරි ඇතුලෙ ගහල තිබුන දැන්වීමක් 'මෙය ඔබේ ජාතික වස්තුවකි, ඔබේ ඇස් දෙක මෙන් රැකගන්න' කියල. ඔය දැන්වීමෙත් ඕනෙ වෙලාවක ඇස් කියන වචනෙ දකින්න නෑ. යාන්තමට මතකයි ඒ වාක්‍යය ඉංග්‍රීසියෙනුත් ගහල තිබුන 'This is your national wealth, look after it as your health' කියල, ඒක නං හූරල තිබුන කියල මතකයක් නෑ.  වාක්‍යය තේරෙන් නැති හින්දද, වෙනස් තේරුමක් එන්න හුරන්න බැරි හින්දද දන්නෙ නෑ. ඔක්කොම දැන්වීම් ඉංග්‍රීසියෙන් විතරක් ගැහුව නම් හූරන්නංගෙන් බේරගන්නත් තිබුන කියල හිතෙනව දැන්නම්.

ලංකාව මෙට්‍රික් ක්‍රමේට හැරෙන කාලෙ නීති සම්පාදනය වුනා, කිසිම වෙළඳ ගනුදෙනුවක් අවුන්ස, රාත්තල්, යාර, අඩි, ගැලුම්, බෝතල්,  වලින් කරන්න තහනම් කියල. ඒ කාලෙ වෙන්නැති dram එකත් මි.ලී. 100 බවට පත්වුනේ. ඉස්සර බෝතලේ කියන්නෙ dram අටක්. අපරාදෙ කියන්න බෑ, බාර් කාරයො නම් මි.ලී 750 බෝතලේ අගේට මි.ලී.100 ඒව අටකට බෙදන්න, උන් ගිය ඉස්කෝල වලින් ඉගෙන ගෙන ඇවිල්ල තිබුනෙ. ඔය කාලෙ වෙළෙන්දො ගාව රාත්තල්, කාල්, බාග, අවුන්ස, තරාදි පඩි හෝ හාල් මනින සේරු තිබිල අහු වුනොත් උසාවි දාල දඩ ගහනව. මාකට් එකේ වෙළෙන්දො සෑහෙන කාලයක් යනකම් පරණ පුරුදු විධියටම දෙහි මිරිස් හෙම වික්කෙ කාලෙ, බාගෙ, ගාන කියල. හැබැයි කිරුවෙ ග්රෑම් 100 සහ 200 පඩි වලින්. 1980 ගණන් වල අග හරියෙ මම ලංකාවෙන් එනකොටත්, ගම්පහ මාකට් ලේන් එකේ පදික වෙළෙන්දො හාල් වික්කෙ සේරුවෙන් මැනල. නගර සභාවෙන් පොලිසියත් එක්ක ඇවිල්ල, සේරුත් එක්ක අල්ලන් යනකොට වෙළෙන්ද නෙමේ යන්නෙ, ඒවට යන්න වෙනම කට්ටිය ඉන්නව මාකට් ලේන් එකේ. වෙළෙන්දට තියෙන්නෙ උසාවි දාපුවම දඩේ ගෙවල උසාවි දාපු එකාව බේරගෙන ඌට කීයක් හරි දෙන්න.

මම ලංගමෙන් අයින් වෙලා, මෙහෙ එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ, අපේ මස්සිනාට අයිති ග්රොසරියක මුදලාලි වෙලා හිටිය ටික කාලයක්. ඒක තිබුනෙත් මාකට් ලේන් එකේ. අල්ලපු එක පොඩි සිල්ලර කඩයක්, මුදලාලි 'සුදු මල්ලි' කියල තරුණ පහේ හාදයෙක්. ගම මාතර පැත්තෙ. ගමෙන් එක්කන් ආපු නෑදෑ මල්ලිල තමා සහයට හිටියෙ. සුදු මල්ලි ගෙ කඩේ පුංචි නිසා හාල් එහෙම වික්කෙ, සුදු මල්ලිගෙ කඩේ ඉස්සරහ පේව්මන්ට් එකේ. මාකට් ලේන් එකේ ලොකු කඩ හවස හය , හත, අතරෙ වැහුවට, සුදුමල්ලිල මම වගේ පොඩි බිස්නස් කාරයො වහන්නෙ රෑ අට පහුවෙලා. දවසක් මම කඩේ ලෑලි වහනකොට දැක්ක සුදුමල්ලි අමුතු වැඩක් කරනව.  මිනිහ ගෝලයො කඩේ වහන්න අස්පස් කරන අතරෙ, එළියෙ තිබුන හාල් ගෝනි වල උඩම, පාර පැත්තට තියෙන හාල් ටික, පරෙස්සමට එකතු කරල වෙනම කඩදාසි බෑග් වලට දානව. මම ඒ මොකටද කියල ඇහුවම, සුදු මල්ලි කිව්ව 'ගෙදර කෑමට මහත්තය' කියල. පහුවෙනිදද කොහෙද, දවල් එකට දෙකට විතර කඩවල මැස්සො ඇහිරෙන වෙලාවෙ, අපි දෙන්න පොඩි කයියක් ගහගෙන ඉන්න කොට තමා සුදු මල්ලි ඇත්ත කතාව කිව්වෙ. හාල් ගන්න එන පාරිභෝගිකයො, විශේෂෙන්ම ගෑනු අය, හාල් හොඳට වේලිලද කියල බලන්න හාල් ඇටයක් දෙකක් හපල බලනවලු. ඒකට හාල් ගෝනියේ උඩින්ම, ඉස්සරහට වෙන්න දාල තියෙන්නෙ, ඉස්තරම්ම හාල් ටිකක්ලු. හාල් මනින්නෙ හැම වෙලාවෙම ගෝනියේ වෙළෙන්ද පැත්තට තියෙන හාල් වලින්ලු. මන් ඇහුව ඒ පාර ගල් වැලි කලවම් තෙත හාල්ද අනිත් හරියෙ තියෙන්නෙ කියල. සුදු මල්ලි මගෙන් අහනව, මහත්තය කියන්නෙ අපි හාල් වේලන්නද, අපිට මෝල් වලින් ලැබෙන ඒව විකුණනව ඇර කියල. මිනිහ එදා මට පෙන්නුව, සේරුව හදල තියෙන හැටිත්. සේරුව පිටතින් ලොකුවට තිබුනට, අඩිය තියෙන්නෙ ටිකක් උඩින්. හාල් ගෝනිය උඩින් ලස්සනට හොඳ හාල් ටිකක් දානවට වෙළෙන්දො කියන්නෙ 'මාලෙ දානව' කියලලු.


පඳුර වටේ තැලිල්ල හින්ද තව පොඩ්ඩෙන් කියන්න ආපු කථාවත් අමතක වෙනව. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට ඉස්සර, පිටකොටුවෙ ඉඳල පිළියන්දල පැත්තට ගිය 120 ලංගම බස් එහෙක. මේ වෙලාවෙ බස් එකේ මගීන් ඉඳල තියෙන්නෙ ආසන ගානට වගේ.  මගදි මොන ආගමේ හෝ පුජක වරයෙක් නැග්ගොත් බස් එකට, ආසනේ පුජ කරන්න වෙන නිසා  ඩ්‍රයිවර් උන්නැහෙ පිටිපස්සෙ වගේ තියෙන 'පුජ්‍ය පක්ෂය' සඳහා වෙන් කල ආසනේ කව්රුත් වාඩි වෙලා ඉඳල නෑ. 

සමහරු කියනව වගේ 'කණ සාක්කුවෙ' වැටෙන්න බීපු මනුස්සයෙක් නැග්ගලු බස් එකට, කොටුවෙ ඉස්ටේසම පහුකරල චුට්ටක් දුර යනකොට තියෙන බස් හෝල්ට් එහෙකින්. හොස්පිට්ල් ස්ට්‍රීට් එක පැත්තෙ ෆේමස් බාර් එහෙක ඉඳල වෙන්නැති ආවෙ. දෙන්නෙක් වාඩි වෙන්න පුළුවන් ආසනයක් හිස්ව තියෙනව දැක්කම, මිනිහ බුරු ඇඳත් දිග ඇරගෙනම වාඩි වුනාලු. වාඩිවෙලා ජනේලේ පැත්තට හේත්තුවෙලා නින්දක් ගහන්න හදනකොට , කොන්දොස්තර උන්නැහෙ බොහොම අමාරුවෙන් යන තැන අහගෙන ටිකට් එකක් දුන්නලු. ටිකට් එකත් උඩ සාක්කුවෙ දාගෙන අපේ ඩෝප් කාරය ආපහු නින්දට වැටිල. 



ඇස්වාට්ටුව හන්දියෙ බස් එක නැවත්තුවම  බෞධ භික්ෂූන් වහන්සෙ නමක් නැගල තියෙනව බස් එකට. කොන්දොස්තර උන්නැහෙ ඩෝප්කාරයව ආයෙත් අවදි කරල ස්වාමීන් වහන්සෙටත් ඉඳගන්න ඉඩ අරන් දීල. ඩෝප්කාරය ඉඩ දෙන ගමන් ඇහෙන නොඇහෙන ගානට කියල තියෙනව 'දෙන්ඩ හිතයි, අපවත් වෙන්න' කියල. භික්ෂූන් වහන්සෙටත්, බේබද්ද කියපු කථාව ඇහුනත්, තමන්ගෙ පාඩුවෙ සද්ද නැතුව ඉඳල. ඊට පස්සෙ මිනිහ නිදාගෙන නෑ, දිගටම තොල් මතුරමින් ඉඳල තියෙන්නෙ.

තුන්මුල්ල හන්දියෙ බුදු පිළිමෙ පහු කරගෙන බස් එක යනකොට ඩෝප්කාරය බැරි මරගාතෙ නැගිටල බුදු පිළිමෙට වැඳල වාඩි වුනාලු. වාඩිවෙලා ස්වාමීන් වහන්සෙගෙන් ඇහුවලු 'ඔහෙලගෙත් බොස් නේද අර, ගරුසරු දක්කන්නෙ නැද්ද' කියල.

ඩ්‍රයිවර් උන්නැහෙ ගැහුවලු 'බ්‍රාස් ' ගාල බ්රේක් පාරක්. නැගිටල ආවලු ඩ්‍රයිවින් සීට් එකෙන්, ඇදල දැම්මලු ඩෝප්කාරයව බස් එකෙන් එළියට කුණු මාළු කෑල්ලක් වගේ. ඩෝප් කාරය පාරෙ, බස් එක ගියාලු යන්න.

සැලකිය යුතුයි. අපහාසයක් හෝ උපහාසයක් එල්ල වුනා නම් ඩෝප්කාරයට මිස බුදු දහමට හෝ භික්ෂුන් වහන්සේලාට නොවේ.

ඔබීයි මායි අප්‍රියෙල් පළවෙනිද [කොහොමත් මගෙ දවසනෙ] ලංකාවට යනව, බ්ලොග් අවකාශෙ සැරිසන්න, අප්‍රියෙල් මාසෙ තුල වෙලාව තියෙයිද දන්නෙ නෑ. බොහෝ අය 22 වෙනිද හමුවෙයි කියල හිතෙනව. 


 දන්නෙම නැතුව ඉස්සෙල්ල [ටිකට් ඉන්ස්පෙක්ටර්] පෝස්ට් එකෙන් හාෆ් සෙන්චරිය ගහල :-)

Wednesday 21 March 2012

Ticket Inspector (From Punjab With Love)


මේක මම සියසින් දැක්ක සිද්ධියක්. මතක් වුනේ උඩ තියෙන චිත්‍රෙ ඇඳල දුන්න, හෙන්රිගෙ 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ පෝස්ට් එකක් නිසා. ඒ පෝස්ට් එකත් මෙතනින් බලන්න පුළුවන්. කථාවෙ ප්‍රධාන චරිතය  මමත් අඳුනන පන්ජාබි ජාතිකයෙක්. නම වික්‍රම් සින්හ්. හැබැයි යුනිෆෝම් එකේ නේම් බැජ් එක 'විකී සින්හ් '  මන් හිතන්නෙ සුද්දන්ට හෙම කියවන්න ලේසි වෙන්න මිනිහ නම මොඩිෆයි කරගෙන. හෙන්රිට මම යුනිෆෝම් එක විස්තර කලේ නැති නිසා හෙන්රි ඇඳල තියෙන්නෙ ටයි කෝට් ඇඳපු ඉන්ස්පෙක්ටර් කෙනෙක්. නමුත් හරි යුනිෆෝම් එක ඇඳපු ඉන්දියන් ඉන්ස්පෙක්ටර්ල දෙන්නෙක්ගෙ පින්තුරයක් පහතින් තියෙන්නෙ.  

ට්‍රාන්ස්පර්ත් කොච්චි වල ටිකට් චෙක් කරන අය වගේම, ඊට වඩා හුඟාක් බලතල තියෙන 'ට්‍රාන්සිට් ඔෆිසර් ' නමින් හඳුන්වන නිලධාරීන් අඳින්නෙ බොහෝ දුරට සමාන නිළ ඇඳුමක්. ඇත්තටම කැප් එකේ සහ අතේ ගහල තියෙන බැජ් වල තනතුර සඳහන් කරල තියෙනව ඇරෙන්න වෙන වෙනසක් පේන්න නෑ. ටිකට් චෙකර්ලගෙ බැජ් එකේ පින්තුරයක් මේ තියෙන්නෙ.

Transit Officer කියන වචන Revenue Protection කියන වචන වෙනුවට සඳහන් වීම විතරයි වෙනස.හැබැයි   Revenue Protection Officer (ටිකට් චෙකර්) කෙනෙක් ළඟ තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ටිකට් චෙක් කරන්න 'පාම් රීඩර් එකක් ' සහ 'වෝකි ටෝකි රේඩියෝවක් විතරයි. නමුත්  Transit Officer කෙනෙක් ළඟ බැටන් එකක්, මාංචු කුට්ටමක් සහ pepper ස්ප්‍රේ කෑන් එකක් තියෙනව. මේ තියෙන්නෙ  Transit Officer කෙනෙක් ගැන ට්‍රාන්ස්පර්ත් වෙබ් සයිට් එකේම තියෙන විස්තර වලින් ඉතා සුළු කොටසක්.

Transit officers are issued with handcuffs, batons and OC (capsicum spray) and trained in their appropriate use. They also use two-way radios to communicate with a central office and other transit officers. When patrolling trains they inspect passengers' tickets or Smartrider cards, using a small hand-held reader. Transit officers must also be familiar with computers and word processing software to compile reports and record any incidents from their patrol. They will also be trained in using first-aid and fire-fighting equipment in case of emergency. 

පහතින් තියෙන්නෙ ට්‍රාන්සිට් ඔෆිසර්ල දෙන්නෙක්ගෙ පින්තුර (දෙගොල්ලම වැඩ කරන්නෙ දෙන්නෙක්ගෙන් සමන්විත කණ්ඩායම් හැටියට) 


ට්‍රාන්සිට් ඔෆිසර්ලට දුම්රියකදී හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භුමි භාගයක් තුලදි වැරද්දක් කරන අයෙකුව අත්අඩංගුවට අරගෙන පොලිසියට භාර දෙන්න බලතල තියෙනව. ඒ අයට තියෙන බලතල, පොලිස් නිලධාරියෙකුට තියෙන බලතල වලට සමානයි. පිස්තෝලයක් සහ ටේසර් ගන් එකක් හැර පොලිස් නිලධාරියෙක්  ළඟ තියෙන උපකරණ සියල්ලම එයාලටත් තියෙනව. ඒ බලතල පිලිබඳ විස්තර කැමති නං මෙතනින් බලාගන්න පුළුවන්. මේ නිලධාරීන් දෙගොල්ලගෙම නිළ ඇඳුම්, බටහිර ඕස්ට්‍රේලියාවේ පොලිස් නිළ ඇඳුමට බෙහෙවින් සමානයි.පහතින් තියෙන්නෙ පොලිස් කාන්තාවකගෙ පින්තුරයක්. 


බටහිර ඔස්ට්‍රේලියාවෙ දුම්රිය සහ බස් ධාවනය කරන ට්‍රාන්ස්පර්ත් විතරක් නෙමේ මුළු ඔස්ට්‍රේලියාවේම සියලුම ප්‍රාන්ත [states]වල පොදු මගී ප්‍රවාහන ආයතන පිලිබඳ විතර මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.

අපේ ලංකාවෙ වගේ ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට ටිකට් නිකුත් කරන ක්‍රමයක් නෙමේ ට්‍රාන්ස්පර්ත් එකේ තියෙන්නෙ. බස් කෝච්චි දුවන ප්‍රදේශ, කලාප [zone] වලට බෙදල ඒ කලාපෙන් කලාපෙට ටිකට් නිකුත් කරන්නෙ. තමන් ටිකට් අරන් තියෙන කලාපෙ ඕනෙම බස් නැවතුමකින් හෝ ස්ටේෂන් එකකින් බහින්න පුළුවන්. බස් ටිකට් එක කෝච්චියටත්, කෝච්චි ටිකට් එක බස් එකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නෙ එක සේවාවකින් ටිකට් එක අරගෙන, මගදි බැහැල  තව සේවාවකින් ගමන නිම කරන්න පුළුවන්. ඒ පිළිබඳව විස්තර කියවන්න කැමති කෙනෙකුට මෙතනින් බලා ගත්තැකි. 

අපේ ටිකට් පරීක්ෂක විකී, පන්ජාබි ජාතිකයෙක්. මම ටික කාලෙක ඉඳන් අඳුනන නිසා දන්නව විකීගේ ඉංග්‍රීසි කතාව තරමක් දුර්වල බව. මේ කියන දවසේ මම නිමාඩු. මම ගමනක් යමින් හිටිය කෝච්චියට විකී තව ටිකට් පරීක්ෂකයෙක් එක්ක ගොඩ වුනා මගදි. දෙන්නත් එක්ක එක කෙළවරක ඉඳන් ටිකට් චෙක් කරගෙන මන් ඉන්න කිට්ටුවටම ආව. මන් ඉඳගෙන හිටිය කිට්ටුවම හිටි මගියෙක් එක්ක විකීගෙ දෙබසක් ඒ විධියටම පහතින් ලියල තියෙන්නෙ.

මගියෙකුගෙ  ටිකට් එක පරීක්ෂා කල 
විකී       ' යූ ට්‍රැවලින් ටූ  ජෝන්ස්, විත් ඔන්ලි වන් ජෝන් ටිකට් ' 
මගියා    ' අයෑම් ඔන්ලි වන් ජෝන් '
විකී        ' යූ බෝට් දිස් වන් ජෝන් ටිකට් ඉන් ජෝන් වන්, නව් යූ ආර් ඉන් ජෝන් ටූ '
මගියා     ' නෝ මෑන්, අයෑම් ටෙලින් යූ, දෙයාර්ස් නෝබොඩි එල්ස්  ට්‍රැවලින් විත් මී.
                අයෑම් බයි මයිසෙල්ෆ් '
විකී        ' සොරි, බට් අයි හැව් ටු ඉශූ යූ අ ෆයින්, ෆො  ට්‍රැවලින් ඕව ද ටිකට් ඇලොකේෂන් '

විකිය Z අකුර සද්ද කරන්නෙ J අකුර වගේ. ඌ 'සෝන් ' කියනකොට සද්ද වෙන්නෙ 'ජෝන් ' කියල. ඒ මදිවට මගියගේ නමත් ජෝන්. විකිය කියන්නෙ, මගිය එක සෝන් එකකට ටිකට් අරන් සෝන් දෙකක් ගමන් කෙරීමෙන් දඩ කොලයක් ලියන්න වෙනව කියල. මගියා කියන්නෙ ජෝන් ල දෙන්නෙක් මෙතන නෑ, මන් තනියෙම ගමන් කරන්නෙ කියල.  මගියගෙ හිතේ, එක ටිකට් එකෙන් දෙන්නෙක් යනව කියල චෝදනා කරනව කියල. අන්තිමට අහක හිටපු මාත් කට දාල තමා මගියට වැරැද්ද පෙන්නල දෙන්න වුනේ. 


පස්සෙ දවසක විකීගේ යාළුවො ඉන්න තැනක මන් ඔය කතාව කියල විකී මාස ගානක් යනකම් මාත් එක්ක කථා නොකරත් හිටිය.


මේ පෝස්ට් එකට මන් ඉල්ලන්නත් ඉස්සෙල්ල මල්මධාර චිත්‍රයක් ඇඳල එව්ව. මෙන්න ඒ චිත්‍රය. 


All photographs shown in this post are from Google




Saturday 17 March 2012

Arse end of the world හෙවත් ලෝකෙ අධෝ පැත්ත


උඩ තියෙන පින්තුරෙන් පෙන්නන්නෙ ඔස්ට්‍රේලියාව තුල යුරෝපයේ රටවල් ටික ඔක්කොම තිබ්බත් තවත් ඉඩ ඉතුරු වෙනව කියල. තව සිතියමේ පෙන්නන ප්‍රාන්ත අග නගර [state capital cities] අතර දුර වගේ සුළු විස්තර ටිකකුත් තියෙනව. ඔස්ට්‍රේලියාවෙ හිටපු අගමැති වරයෙක්, මට මතක විධියට බොබ් හෝක් නැමැත්තා කිව්ව කථාවක් මම මාතෘකාව හැටියට දාල තියෙන්නෙ. ඔස්ට්‍රේලියාවෙ සිතියම දෙස බැලුවමත් මනුෂ්‍යයෙකුගෙ පස්ස පැත්තක් වගේ පේනව. කිව්ව හේතුව මම හරියටම දන්නේ නැති වුනාට එයා ඔස්ට්‍රේලියාව හැඳින්නුව එක වතාවක 'ලෝකෙ පුක' එහෙමත් නැත්තන් 'Arse end of the world' කියල.

මම මීට ඉස්සෙල්ල පබ්ලිෂ් කල 'Disability Pension'  පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර ලියන්න වෙලාව තිබුනෙ නැති වුනත්, සමහරුන්ව උපහාසෙට ලක් කරල ඇනෝ කෙනෙක් දාපු කොමෙන්ට් සහ මට මඩ ගහපු කොමෙන්ට් ඇතුළුව ඔක්කොම කොමෙන්ට් කියෙව්ව. එක්කෙනෙක් අහල තිබුන දරු කමට හදා ගන්න බැරිද කියලත්...හෙහ්...හෙහ්... කොහොම වුනත් සමහරු අවස්ථාවක් ලැබුනොත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන්න කැමති බව කොමෙන්ට් වලින් මට හිතුන. මීට කලිනුත් අපේ සිංහල බ්ලොග් අවකාශෙට සම්භන්ද කීප දෙනෙක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම ගැන මගෙන් පුද්ගලිකවත් විමසුව. ඒ නිසා මට හිතුන හැමදාම කුණුහරප ලියන එකේ වෙනසකටත් එක්ක ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන්න කැමති අයට අවශ්‍ය වෙයි කියල හිතෙන විස්තර ටිකක් පළ කරන්න. මේ විස්තර මන් මේ විධියට නොකිව්වත්, අන්තර්ජාල පහසුකම් තියෙනව නම් කෙනෙකුට සර්ච් කරල හොයා ගන්න බැරි රහස් නම් නෙමේ.

ඔස්ට්‍රේලියාව, ලෝක ආර්ථික ප්‍රශ්න තියෙන මේ දවස් වලත්, අනෙත් රටවලට වඩා ආර්ථික අතින් ශක්තිමත් කියල හිතන්න පුළුවන්. දැනට මාස ගණනක ඉඳලම ඕස්ට්‍රේලියන් ඩොලරයේ අගය ඇමෙරිකන් ඩොලරයට වඩා වැඩියි. ඔස්ට්‍රේලියාවට තියෙන එක ප්‍රශ්නයක් තමා රටේ විශාලත්වය අනුව ජනගහනය මදි කම. හොරෙන් බෝට්ටු වලින් සංක්‍රමණය කරන ටික දෙනෙකුත්, ලෝකෙ සමහර රට වල තියෙන යුද්ධ සහ ඇතිවුන ස්වාභාවික විපත් නිසා ඕස්ට්‍රේලියන් රජයෙන් සරණාගතයන් හැටියට භාරගත් ටික දෙනෙකුත් මෙහාට ආවට, ඒ අයගෙන් මෙහාට සෑහෙන කාලයක් යනකන් එච්චර වැඩක් නෑ. හේතුව ඒ අය අතරෙ ඔස්ට්‍රේලියාවෙ කර්මාන්ත සහ කෘෂිකර්මයට හෝ තොරතුරු තාක්ෂනයට අවශ්‍ය පුද්ගලයෝ නැති තරම් නිසා.

ඔස්ට්‍රේලියාවෙ අනාගත අවශ්‍යතා වලට, අනාගත පරම්පරාව පුහුණු කරගෙන යනව වුනත්, වර්තමාන අවශ්‍යතාවන්ට ඕනේ කරන පිරිස අඩුයි. ඒ නිසා Skilled Migrants කියන කැටගරියෙ අයට මෙහෙට සංක්‍රමණය කරන්න  අවස්තාව උදා කරල තියෙන්නෙ. ඕස්ට්‍රේලියන් රජය උත්සාහ කරන්නෙ, වෙන රටවලින් පුහුණු පුද්ගලයන් මෙහාට ඇද ගන්න. ඒ රට වලට ඒක 'බ්‍රේන් ඩ්රේන් ' එකක් වුනාට ඕස්ට්‍රේලියන් රජය ඒ බව පයිසෙකට ගණන් ගන්නේ නෑ. සමහරුන්ට පේන්න පුළුවන් ධනපති ආර්ථික ක්‍රමේ වැරද්දක් කියල. කොහොම වුනත් මේ දවස් වල ඔස්ට්‍රේලියාවට අවශ්‍ය කරන වෘතීන් ලිස්ට් එකක් සහ අනෙත් විස්තර මෙතනින් ගිහින් බලන්න පුලුවන්. කෙලින්ම ලිස්ට් ඒක බලනව නං මෙතනින්  PDF ලියවිල්ලක් විධියට බලන්න පුළුවන්.

ලින්ක් හරහා ගිහින් බැලුව නම් Skilled Migrant කැටගරි කීපයක් තියෙන බව දකින්න ඇති. ඒ කොයි කැටගරියෙන් බැලුවත් තමන්ට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය ලකුණු ප්‍රමාණයක් සුදුසු කම් අනුව ලබා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ ඒ කැටගරියට අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් කොයි තරම්ද කියල මෙතනින් බලන්න.

ඒ ලකුණු ප්‍රමාණය තමන්ට ස්කෝර් කරන්න පුලුවන්ද කියල අයදුම් පත ඉදිරිපත් කරන්න හිතන්නත් ඉස්සෙල්ල මෙතනින් බලන්න පුළුවන්. මොකද අයදුම් පතත් එක්ක සෑහෙන මුදලක් ගෙවන්න ඕනෙ ප්‍රොසෙසින් ගාස්තුව හැටියට. අයදුම් පත පවා මුදල් ගෙවලයි ගන්න වෙන්නෙ. ඕස්ට්‍රේලියන් රජයට යන වියදම පියව ගන්න එක ඇරෙන්න සුදුසුකම් නැති අය නිකරුනේ අයදුම් පත් ඉදිරිපත් කරල අනවශ්‍ය වියදම්  සහ කාලය නාස්ති කරන එක වලක්ක්වන්නත් වෙන්නැති එහෙම මුදල් අය කරන්නෙ සමහර විට. නිකම් දෙනව නම් දෙමළ පත්තරෙත් ගන්න අය ඉන්නවනෙ.

මම ඔය දුන්න විස්තර ඔක්කොම සංක්‍රමණිකයන් සඳහාම වෙන් වූ ඕස්ට්‍රේලියන් රජයේ දෙපාර්තමේන්තුව ඒ කියන්නෙ Dept. of Immigration  නිළ වෙබ් අඩවියට මෙතනින් ගිහිල්ල ඒ හරහා හොයා ගන්න පුළුවන්. ස්ටුඩන්ට් වීසා, විසිටින් [ටුවරිස්ට්] වීසා, ඇතුළු සියලුම වීසා කැටගරි සඳහා විස්තර එතන තියෙනව. ලංකාවෙ ඉඳල අයදුම් පත් ඉදිරිපත් කරන අයට මුදලක් අයකරල සහය දෙන ඔස්ට්‍රේලියාවෙ  Dept. of Immigration  එකෙන් අනුමත  ලංකාවෙ ආයතන  ලිස්ට් එකත් ඒ වෙබ් අඩවියෙන්ම බලන්න පුලුවන්. 


මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න තත්පර ගානකට ඉස්සෙල්ල, ඊයකින් ආව ලෝකෙ එක, එක, පාර්ලිමේන්තු වල ඇතුළෙ සහ පිටතදි දේසපාලල දාපු ගොන් පාට් සහ ගහ මරා ගැනිලි ගැන වීඩියෝවක්. අනිත් ලින්ක් වලට නොයන කට්ටියට වුනත්,  මේක ඉන්ටරෙස්ටින් වෙයි කියල හිතෙනව. මෙතනින් ගිහින් කැමති නං බලන්න.  

Tuesday 13 March 2012

Disability Pension

මේ පෝස්ට් එක  තාරක දිල්ශාන් එව්ව ඊයක් නිසා පහළ වුන අදහසක්.. සමහරු නං කලින් අහළ හෝ කියවල ඇති. 

මේක ඇමෙරිකාව හෝ ඔස්ට්‍රේලියාව වගේ රටක සිද්ධ වුන එකක්. මං එහෙම කියන්නෙ අපේ ලංකාවෙ පිං පඩියට වඩා හොඳ ගෙවීමක් වයසක උදවියට ආණ්ඩුවෙන් ගෙවන රටක සිද්ධ වුන සිදුවීමක් කියල පේන නිසා.  

වයස අවරුදු 65 යි මාස 6 පැන්නට පස්සෙ තව දුරටත් රැකියාව කරගෙන ඉන්න බාධාවක් නැති වුනත්  තමන් කැමති නම් විශ්‍රාම යන්න පුළුවන් ඔස්ට්‍රේලියාවෙ. එහෙම විශ්‍රාම ගියාම තනි පුද්ගලයෙකුට මාසෙකට $ 1400 විතර සහ ජෝඩුවක් නං  $ 2100 විතර රජයෙන් ගෙවනව. ඔය මුදලට අමතරව  ඉතාම අඩු මිළකට බෙහෙත් ගන්න අවස්තාව ලබා දෙනව. ඒ වගේම ගෙවල් කුලී ගෙවන්න සෑහෙන මුදලක් එහෙමත් රජයෙන් ගෙවනව. තවත් හුඟාක් පහසුකම් රජයෙන් ලබාදෙනව. ඒවායින් කීපයක් තමා රියදුරු බලපත්‍රයට වාර්ෂිකව ගෙවන ගාන ඉතාම සුළු මුදලක් වීම, වාහන ලියා පදිංචි කිරීමේ ගාස්තුව ඉතාම අඩු වීම.  ඔස්ට්‍රේලියාවෙ  විශ්‍රාම වැටුප් හා අනිත් වරප්‍රසාද ඔක්කොම කැමති කෙනෙකුට බලාගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එක හරහ ගිහින්.

රියදුරු බලපත්‍රයට ගෙවන සහ වාහන ලියාපදිංචියට ගෙවන අඩු මුදල වැනි වරප්‍රසාද නැති වුනත් අඩුවට බෙහෙත් ලබාගැනීම වගේ වරප්‍රසාද, ගෙවල් කුලී ගෙවන්න සපෝට් එකත් එක්ක 'ඩෝල් ' එක කියල කියන මුදල රජයෙන් ලැබෙනව රස්සාවක් නැති අයට. විස්තර බලා ගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්. ඒ අයට ලැබෙන මුදලත් විශ්‍රාම වැටුපට  සමානයි. හැබැයි එයාල සති දෙකකට සැරයක් ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනෙ තමන් ඇත්තටම රස්සාවක් හොයනව කියල. රස්සාවල් වලට අයදුම් පත් ඉදිරිපත් කරන්න කොම්පියුටර්, ප්‍රින්ටර්, අන්තර්ජාල, දුරකථන, සහාය ලබා දෙනව  'සෙන්ටර් ලින්ක් ' කියන ඩෝල්, පෙන්ෂන්, එහෙම ගෙවන රජයේ ආයතනෙන්ම.

අනෙක් ලබාදෙන සේවාවල් බොහොමයකට අමතරව  'සෙන්ටර් ලින්ක් ' එකෙන් ලැබෙන සේවාවක් තමයි, ආභාධිතයන්ව බලා කියා ගැනීම. ආභාධිතයාට පෙන්ෂන් එක හෝ ඩෝල් එකට සමාන මුදලක්  සහ පෙන්ෂන් එකට අයත් සියළුම වරප්‍රසාද  ලැබෙනව. අභාධිතයාගෙ බිරිඳට දරුවෙකුට හෝ ආභාධිතය කැමති කෙනෙකුට එයාගෙ උපස්ථායකය [carerer ] වෙන්න පුළුවන්.  එයාටත් ආභාධිතයාට සමානම මුදලක්  සමග සියලු වරප්‍රසාද හිමියි. ඊට අමතරව දෙන්නටම පොදු ප්‍රවාහණ සේවා වල නොමිලේ ගමන් කරන්න බලපත්‍රයකුත් ලැබෙනව. ඒ බලපත්‍රය නම් ප්‍රාන්තයෙන් [state ] ප්‍රාන්තයට වෙනස් වෙනස් වෙන්න පුළුවන්. බටහිර ඔස්ට්‍රේලියාවෙ නං විශ්‍රාමිකයන්ටත් සතියෙ දිනවල උදේ 9 ඉඳල සවස 3.30 වෙනතුරුත්, සෙනසුරාද, ඉරිද සහ අනෙක් නිමාඩු දිනවලත් පොදු ප්‍රවාහණ සේවාවන් නොමිලේ. Disability Pension එක ගැන විස්තර මෙතනින් බලාගන්න පුළුවන්. බටහිර ඔස්ට්‍රේලියාවෙ පොදු ප්‍රවාහණ සේවාවන් ක්‍රියාත්මක වෙන්නෙ රජයෙන්. ඒ සේවාවන්  ගැන විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. 


විශ්‍රාමිකයෙක් වෙලා, විශ්‍රාම දීමනාව ලබා ගන්න යම්කිසි වයස් සීමාවක් පන්නල තියෙන්න ඕනෙ වුනාට, මානසික හෝ ශාරීරික වශයෙන් ආභාධිතයෙකුට එහෙම වයස් සීමාවක් නැති බව ඔය ලින්ක් වලින් අදාළ තැන් වලට ගිහින් බැලුවම පැහැදිලිව දකින්න ලැබෙයි. එහෙම ගිහින් බලන්න අකමැති අය මගෙ වචනෙ පිළිගන්න, ඔබා කවදාවත් පාඨකයො රවටල නෑනෙ ගජබින්න අතෑරල  :-))


තමන්ගේ වයස හරි ගියාම තව දුරටත් වැඩ කරන්න ඕනෙ නෑ, විශ්‍රාම සුවයෙන් තමන්ගෙ ජීවිතේ සැන්දෑ සමය ගත කරනව කියල තීරණේ කරන කෙනෙක් ගන්න ඕනෙ පියවරක් තියෙනව. තමන්ගෙ  වයස මෙපමණයි කියල ඔප්පු කල හැකි ලියකියවිලි අරගෙන 'සෙන්ටර් ලින්ක් ' එකට ගිහින් ලියා පදිංචි වෙන්න ඕනෙ. ඊට පස්සෙ සති දෙකකට සැරයක් තමන් නම් කරන බැංකු ගිණුමකට, කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගෙ පෙන්ෂන් දීමනාව බැර වෙනව. කොහෙවත් රස්තියාදු වෙන්න, කටේ කෙළ හිඳෙන කම් මුද්දර අලවන්න, අත වෙව්ල වෙව්ල අස්සන් ගහන්න, අවශ්‍යතාවයක් නෑ. තව එකක් මතක් වුනා ඒකත් කියන්නම ඕනෙ. සති දෙකකට සැරයක් දීමනාව ලැබෙන කොට අව්රුද්දකට  මාස 13 ක් පඩි. ඇයි ඉතින් අව්රුද්දට සති 52 ක් තියෙනවනෙ, නරක නෑ නේද ?


දැන් තමා තාරක එවපු ඊමේල් එකේ තිබ්බ කතාව. තමන්ට විශ්‍රාම ගන්න පුළුවන් වයසත් පන්නල කාලයක් වැඩ කරපු කෙනෙක්, අපේ ප්‍රධාන චරිතය. වැඩ කරගෙන ගියාට මෙයාට තේරෙන්න පටන් ගත්තලු, තමන්ගෙ මතක ශක්තිය එහෙම දැන්, දැන්, දුර්වල වේගන එනව කියල. ඉතින් තමන්ගෙ බිරිඳත් එක්ක සාකච්චාවක් එහෙම දාල තීරණේ කෙරුවලු විශ්‍රාම යන්න. තීරණේ ගැන වැඩ කරන තැනට දන්නුවම, ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනුන විතරක් නෙමේ, මෙතෙක් කල් කල සේවය වෙනුවෙන් ආයතනෙන් රත්තරන් ඔරලෝසුවක් එහෙමත් තෑගි ලැබුනලු. ඒ අතරෙ එකට වැඩ කරපු කට්ටිය අන්තිම දවසෙ හවස මෙයාව පබ් එකට එක්ක ගිහින් ග්‍රෑන්ඩ් විධියට 'සෙන්ඩ් ඕෆ් ' පාටියකුත් දුන්නලු.


පහුවෙනිද උදේම අපේ මිත්‍රය ගිහින් තියෙනව 'සෙන්ටර් ලින්ක් ' කන්තෝරුවට. ගිහින් ආපු කාරණේ කිව්වලු රිසෙප්ෂන් එකේ හිටපු හුරතල් දැරිවිට. ඒ දැරිවිත් නම, ලිපිනය, උපන් දිනේ, ආදී විස්තර අහල අපේ යාළුවා වෙනුවෙන් ෆෝම් කොලේකුත් පුරවන ගමන් ඉල්ලුවලු ඩ්‍රයිවින් ලයිසම, උප්පැන්න සහතිකේ, වගේ උපන් දිනේ සනාථ කරන ලියවිලි.


මන් අර කලිනුත් කිව්ව වගේ අපේ මිත්‍රයා රැකියාවෙන් අයින් වෙන්න ප්‍රධාන හේතුවක් වුනෙත් මතක ශක්තිය ටිකෙන් ටික අඩු වේගන යන බව එයාටම තේරුණ හන්දනෙ. මේ දවසෙත් මෙයාට ලියකියවිලි අරන් යන්න මතක් වෙලා නෑ. රිසෙප්ෂන් දැරිවිට මෙයා කිව්වලු, ගෙදර ගිහින්  ලියකියවිලි අරන් ආපහු එන්නන් කියල. ඒ දැරිවි හිනාවෙලා කිව්වලු නෑ ඕන නෑ, කමිසෙ උඩ බොත්තම් ටික ගලවන්න කියල. අපේ යාලුවට ඒ ඉල්ලීම තේරුන් ගියෙ නැතත්, ඕන දෙයක් කියල කමිසෙ උඩම බොත්තම් තුන හතර ගැලෙව්වලු. 


යාළුවගෙ පපුවෙ සුදු වෙච්ච මයිල් ගස් දිහා බලල කෙල්ල කිව්වලු ' සර් කිව්ව වයස ඇත්ත කියල මට හිතා ගන්න පුළුවන්, මන් අදම පෙන්ෂන් එක හදන්නම්, ආයෙ දවසක ටවුම පැත්තෙ එනකොට, ලියවිලි ටික අරන් එන්න'  කියල. මිනිහත් ඉතින් සන්තෝෂෙන් ගෙදර ගිහින් බිරිඳට කිව්වලු විස්තරේ.

විස්තරේ අහන හිටපු නෝන, මොකද්ද දන්නවද අපේ යාලුවට කියල තියෙන්නෙ ?
'තව අවුරුදු 20 කට ඉස්සර ඔයාට ඩිසේබිලිටි පෙන්ෂන් එක ගන්න තිබ්බ, කලිසමේ සිප් එක ඇරල පෙන්නුව නං'


Saturday 10 March 2012

ඕස්ට්‍රේලියන් අගමැතිනියත් Living together

මේක පබ්ලිෂ් කරන්න හිටියෙ ෆයිනල් එක දින්නම, දැන් ඉතින් මොකේ දන් වළඳන්නද? 


පහතින් තියෙන්නෙ පෙබරවාරි දෙවෙනිදා, ඕස්ට්‍රේලියන් අගමැති තුමිය ජූලියා ගිලාඩ් තම නිළ නිවසේදී, පසුගිය  දින වල ඕස්ට්‍රේලියාවේ සංචාරය කල  ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම හමු වූ අවස්තාව නිරූපනය කරන පින්තුර ටිකක්.

මේ පින්තුර සහිත පුවත් පත් වාර්තාවේ " JULIA GILLARD AND HER HUSBAND" යනුවෙන් සඳහන් කරල තිබුනත්, ඒ දෙන්න අඹු සැමියන් නෙමේ. ඒ දෙන්නත් "Living Together "


                      

Australian PM hosts Sri Lanka cricket team at her residence

Photos courtesy of Johann Jayasinha/SNNI.
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ0_0.jpg
ජූලියා ගිලාඩ්, මහේලව පිළිගනිමින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ0002_0.jpg
ජුලියා ගිලාඩ් සහ ඇගේ 'ලිවින් ටුගෙදර් '  පාට්නර් ටිම් මැතිසන් දකුණු අප්‍රිකානු ජාතික ශ්‍රී ලංකා  ක්‍රිකට් පුහුණු කරු ග්‍රැහැම් ෆෝඩ් පිළිගනිමින් 
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00003_0.jpg
ජුලියා ගිලාඩ්, ඇන්ජෙලෝ මැතිව්ස්  පිළිගනිමින් 
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00004_0.jpg
ජුලියා, ටිම්, මහේල සහ ශ්‍රී ලංකාව සමග පුහුණු තරඟයකට ඔස්ට්‍රේලියාවට  නායකත්ව දුන් බ්‍රැඩ් හැඩින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00005_0.jpg
ලසිත් මලිංග...හෙහ්...හෙහ්....හෙයාර් ස්ටයිල් එක දැන් ලෝක ප්‍රසිද්ධයි.  මට නාකියෙක්, තරුණයෙක් සහ ගිරවියක් ගැන කතාවක් මතක් වුනා. දැන් කුණුහරප කථා  ලියන්නෙ මාසෙකට එකක් නිසා පස්සෙ කියන්නං....
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00006_0.jpg
මහේල රැස් වී සිටි පිරිස අමතමින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00007_0.jpg
ශ්‍රී ලංකා කණ්ඩායම ජූලියා සමග....
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ00008_0.jpg
කට්ටිය කොක්ටේල් එකක් රස විඳිමින්...
http://www.islandcricket.lk/sites/default/files/CB2012JJ0009_0.jpg
පාටිය ඉවර වෙලා යන්න කලින් නැවතත් සමුහ චායාරුපෙකට පෙනී සිටිමින්...
© Johann Jayasinha/SNNI

Monday 5 March 2012

Strictly For Adults - අතිශයෙන්ම වැඩිහිටියන්ට

මේක නං ඔං ඇත්තටම වැඩිහිටියන්ට, පොඩිහිටියො හෙම පළාතෙ එන්න එපා...කොටින්ම කිව්වොත් ඊයකින් ආපු මේ පිංතූර  ' අන්තිම පේළිය '  කියන මං බ්ලොග් වලට ඉස්සෙල්ලම කථා ලියන්න පටන් ගත්ත සයිට් එකෙනුත් රිජෙක්ට් කළා, අන්න ඒකයි ඇත්තම තත්වෙ. කළින්ම ඔන්න කිව්ව, පස්සෙ ඔබාට අනං මනං කියන්න ඔට්ටු නෑ හරිද ?  

අවවාද ඩිස්ක්ලේමර් දැන් ඇතිනෙ 
මෙන්න පළවෙනි පිංතූරෙ


මෙන්න නැවත මතක් කිරීම, මෙතනිං එහාට  පිංතූර බලනව නං ඕන් මං එහෙම නෑ...
වැඩිය නෑ පිංතූර කිව්වට තව එකයි තියෙන්නෙ  :-) 
.
.
.
.
.
.
.
.
.
මීයගෙ බෝලෙ කරකෝගෙන යන්ඩ තව පල්ලෙහාට, මේව මේ පොඩිහිටියො බලයි කියල දාල තියෙන ආරක්ෂක ක්‍රමවේද.... 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


ළඟදීම එනවා... 'පර්ත් මින්ට් '  දෙවෙනි කොටස

Thursday 1 March 2012

The Perth Mint (Part I)



1870 ගණන් වනතුරු තිරිඟු, දැව, ගව පට්ටි සහ බැටළු පට්ටි මත රැඳී  තිවුන බටහිර ඕස්ට්‍රේලියාවෙ ආර්ථිකය මහා පරිමාණයෙන් වෙනස් වුනේ රත්තරන් හමුවෙන්න පටන් ගත්තයින්. 1880 වෙනකොට වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියා වගේ ප්‍රාන්ත වලින් විතරක් නෙමේ, පිටරට වලින් පවා දස දහස් ගන්නනින් සෙනඟ ඇදෙන්න පටන් ගත්ත රත්තරන් හොයාගෙන බටහිර ඔස්ට්‍රේලියාවට. පැඩී හැනන් නම් පුද්ගලයා කැල්ගූලි  වලත්, ඊට ටික කලකට පසුව කූල්ගාඩි  වලත් රත්රන් හොයාගත්තයින් පසුව Gold Rush නමින් හැඳින්වුන රත්රන් පිලිබඳ තදියමක් පැතිරුනා බටහිර ඔස්ට්‍රේලියාවෙ.


ඩේ ඩෝව්න්, නැනයින්, පීක් හිල්, ගාර්ඩ්න් ගලි, ඩෙඩ් ෆිනිෂ් සහ පිනිකල්ස් රත්තරන් තදියම [Gold Rush] එක්කම ඇති වෙලා, ඒ පැති වල රත්තරන් ඉවර වුනාම නැති වෙලා ගිය නගර. ඔය කාලෙම බටහිර ඔස්ට්‍රේලියාවෙ වෘතීය සමිති ව්‍යාපාරෙත් ඇති වුනා කියලයි ඉතිහාසෙ සඳහන් වෙන්නෙ. බටහිර ඔස්ට්‍රේලියාව, එහෙ රත්තරන් ගැන, ඒ වගේම  වෘතීය සමිති  ඉතිහාසය ගැන විස්තර කියවන්න කැමති කෙනෙකුට මේන් මෙතනින් රිංගන්න  පුලුහන්.


ඔය කියන කාලේ, අද වගේ රත්තරන් සහිත පස් ටොන් ගණන් හාරල රසායනිකව පිරිපහදු කරන ක්‍රමයක් තිබිල නෑ. රත්තරන් තියෙනව කියල සැක කරන ස්ථාන වල පස් හාරල, ලංකාවෙ මැණික් ගරනව වගේ ඒ පස් හෝදමින්,  ගෝල්ඩ් නගට්ස් [gold nuggets] නමින් හැඳින්වෙන ස්වභාවික නමුත්, මිශ්‍ර, රත්තරන් මතු කර ගැනීමයි සිද්ධ වෙලා තියෙන්නෙ. වෙනත් ලෝහ එහෙමත් නැත්තන් අපද්‍රව්‍ය මිශ්‍ර නගට් උණු කරල පෙරල,  පිරිසිඳු රත්තරන් ලබාගෙන තියෙන්නෙ. Gold Rush එක කාලෙ හමුවුන රත්තරන් ප්‍රමානෙ, ගෝල්ඩ් රශ් එක නිසාම ඇතිවුන පොඩි නගරවල, ඒ නිසාම කම්මල් විවෘත කල රන් වැඩකාරයන්ට, පිරිපහදු කරන්න හැකියාවක් තිබුනෙ නෑ. මහා පරිමාණයෙන් [ඒ කාලේ හැටියට] වගකීමක් ඇතුව ප්‍රමිතියකට රත්තරන්  පිරිපහදුවට බටහිර ඔස්ට්‍රේලියාවෙ ඇතිවුන රාජ්‍ය ආයතනය 'පර්ත් මින්ට් ' නමින් හැඳින්වුනේ. පර්ත් මින්ට් එක එංගලන්තෙ රජයේ මින්ට් එකේ ශාඛාවක් හැටියටයි ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. 


පර්ත් මින්ට් එකේ ප්‍රදර්ශනය කෙරෙන ඇත්ත රත්රන් නගට් එකක් 
  


උඩම පින්තුරෙ  වීල් බැරෝ එකේ තියෙන ලොකුම රත්තරන් නගට් එක කිලෝ 25.5 ක් බරයි. ඒක තමා  බටහිර ඔස්ට්‍රේලියාවෙ  හම්බ වෙලා තියෙන  දෙවෙනියට ලොකුම නගට් ඒක. ලොකුම එක කිලෝ ග්රෑම් 26 ක්ලු. ඒක කිරන්න තරාදියක් ඒ ටවුමෙ රන් වැඩකරු [ගෝල්ඩ් ස්මිත්] ගාව නොතිබුන නිසා ඒක තුනට කපල කිරල තියෙන්නෙ. පසුව ලැබුන දෙවනියට බර එක කපල කොටල නැහැ,  අදටත් ලොස් වෙගාස් නගරයේ 'ද ගෝල්ඩන් නගට් ' කියන කැසිනෝ එකේ ප්‍රදර්ශනේට තියල තියෙනවලු. තුන්වෙනියට ලොකු එක, [ඇත්තටම පළවෙනි එක කපල උණු කළ නිසා, අදට දෙවැනි තැන ඉන්න එක] තවම පර්ත් මින්ට් එකේ ප්‍රදර්ශනේට තියල තියෙනව. ඔය තුනම හමු වෙලා තියෙන්නෙ බටහිර ඔස්ට්‍රේලියාවෙ ගෝල්ඩ් ෆීල්ඩ් වල. අදටත් බටහිර ඔස්ට්‍රේලියාවට කියන්නෙ 'ද ගෝල්ඩන් ස්ටේට් ' කියල.


වීල්බැරෝවේ තියෙන, අතක හැඩේ නගට් එකට කියන්නෙ 'ද ගෝල්ඩන් හෑන්ඩ්' ඒක හමුවෙලා තියෙන්නෙ වයස අවුරුදු 11 ක කොල්ලෙකුට. අත්තටු විදහා ගත් කුරුල්ලෙකුගේ  හැඩේ එක 'ද ගෝල්ඩන් ඊගල් ' ඒ දෙකම හමු වෙලා තියෙන්නෙ පොළොව හාරල නෙමේ. පොළොව මතුපිට තිබිල. ඒවායේ අමුතු හැඩය නිසා කුතුහලෙන් පරීක්ෂා කරන විට ඒවයෙ ප්‍රමානෙ හැටියට අධික ලෙස බර නිසා රත්රන් බවට සැක කරල තියෙන්නෙ.
[වීල්බැරෝවේ තියෙන්නෙ ඔක්කොම ප්ලාස්ටික් ආකෘති]




බටහිර ඕස්ට්‍රේලියාවෙ රත්තරන් ප්‍රදේශ [ගෝල්ඩ් ෆීල්ඩ්ස්], අනිත් ප්‍රාන්ත සහ වෙන රට වලින් රැගෙන ආ මිශ්‍ර රත්තරන්, පිරිපහදු කරල රන් කාසි [සවරින්] සහ පිරිසිදු රත්තරන් බාර් නිෂ්පාදනයට 1886 ඉදිකිරීම් පටන් අරන් 1899 විවෘත කළ පිරිපහදුව තමා 'පර්ත් ගෝල්ඩ් මින්ට් ' එක කියල කියන්නෙ.   රත්තරන් පිරිපහදුව ඇරුනම ඔස්ට්‍රේලියාවෙ ව්‍යවහාර වුන කාසි නිෂ්පාදනයත් මේ මින්ට් එකේම තමා සිද්ධ වෙලා තියෙන්නෙ.  


පහල පින්තුරෙන් පෙන්නන්නෙ ඒ කාලෙ එකිනෙකට  යාබදව  තිබුන මින්ට් එක [වමේ] සහ ගිනි නිවන හමුදා මුලස්ථානය [දකුණෙ].


මේ පින්තුරේ තියෙන්නෙ අද පේන්න තියෙන මින්ට් එක 


පර්ත් ගෝල්ඩ් මින්ට් එකේ ඉතිහාසෙ පිළිබඳව විස්තර කියවන්න කැමති අයට මෙන්න ලින්ක් එක. හොඳ රසවත් තොරතුරු ටිකක් තියෙනව එතන. 


'ගෝල්ඩ් රශ් ' කාලෙ රත්තරන් හොයන්න බටහිර ඔස්ට්‍රේලියාවට ආ අයට කියන්නෙ Prospectors කියල. එයාලට  පර්ත් ඉඳල රත්තරන් හමුවුන කිලෝ මීටර් 600 ක විතර දුර යන්න වුනේ, බයිසිකල්, අශ්වයො පිටේ හෝ පයින්. පොළොව හාරන උපකරණ, නිදා ගන්න බ්ලැන්කට් එකක්, කෑම දාගෙන යන පෙට්ටියක් සහ වතුර බෝතලයක් ඇරෙන්න වෙන දෙයක් එයාල උස්සන් ගිහින් නෑ. හුඟාක් කට්ටිය මඟදි සහ කඳවුරු වලදී මිය ගිහින් තියෙනව.


පහත පින්තුර වලින් පෙන්නන්නෙ පර්ත් මින්ට් එකේ තියෙන ආකෘති කීපයක්. 


මෙන්න රත්තරන් හාරපු දෙන්නෙක්.


එයාලගෙ කෑම්ප් සයිට් එකක් 





මෙන්න මියගිය ප්‍රොස්පෙක්ටර් කෙනෙක් භූමදාන කළ තැනක්


පහල පින්තුර වලින් පෙන්නන්නෙ, පර්ත් මින්ට් එකට ඇතුල්වෙන ගේට්ටුවෙ සහ ප්‍රධාන දොරටුවෙ තියෙන පුවරු කීපයක් 








මේ තියෙන්නෙ පර්ත් මින්ට් එක ගොඩ නැංවීමට තැබූ මුල් ගල
 
පර්ත් මින්ට් ගොඩනැඟිලි දෙකේ පින්තූර දෙක හැර අනිත්ව මගෙ ජංගම දුරකථනයෙන් ගත්ත චායාරුප. සමාවෙන්න ඕනේ කොලිටි එක හරි නැත්තං, වයසක මනුස්සයට කැමරාව අරන් යන්න අමතක වුනානෙ.

පර්ත් මින්ට් එක පිළිබඳව සහ එහි නිෂ්පාදන ගැන තව විස්තරයක් ඊළඟ පෝස්ට් එකෙන් ඉදිරි දින කීපයෙදි බලාපොරොත්තු වන්න.

පහත තියෙන ලින්ක් තුනේ බටහිර ඔස්ට්‍රේලියාවෙ රත්තරන් ඉතිහාසෙ ගැන රසවත් තොරතුරු කියවන්න පුළුවන්. අන්තිමට තියෙන ලින්ක් එකේ මිකල්බර්ග් නම් සහෝදරයො තිදෙනෙක් එකතුවෙලා පර්ත් මින්ට් එකෙන් රත්රන් ගඩොල් 49 ක් උස්සපු හැටි විස්තරේ.