My followers

Sunday 30 October 2011

'අපේ බුන්ට වැඩකාරය'


කොමෙන්ට් එකකට උත්තරයක් හැටියට මගෙ අතින් කියවුනා අපේ  'උයාසේන බුන්ටා' ඔය පුස් කාපු කළු දොදොල් එහෙම කෑවට, පොර මොළකාරය කියල. මොළකාරය වගේම බුන්ටා වැඩකාරය.



බුන්ටට පොඩි අඩු පාඩුවක් තිබුන. අනිත් මිනිස්සු මොනාද කොරන්නෙ, අවට පරිසරේ මොනාද වෙන්නෙ, වගේ දේවල් ඌට ගානක් වත් නැහැ. ඌ ජීවත් වුනේ උගේම ලෝකෙක. එහෙම කිව්වට බුන්ට ආත්මාර්ථකාමී, නරක පොරක් හෙම නෙමේ, හරිම හිත හොඳ යාලුවෙක්. ඌ ගැන සිංහලෙන් කිව්වොත් ඌ හුඟක් වෙලාවට "ඇබ්සන්ට් මයින්ඩඩ්"
 


විච්චුරන පැත්තක තියල කතාවට බහිමුකො.


ඔය වටේටම කැරකෙන්න පුළුවන්, ඉඳ ගත්තම, පස්ස පැත්තට සනීප විදියට සස්පෙන්ෂන් තියෙන, කාර්යාලීය පුටු, අපි වගේ පුඟුලන්ට ඒ කාලෙ දකින්න ලැබුනෙ, කණ කැස්බෑව විය සිදුරෙන් මොකද්ද එක දැක්ක වගේ, කළාතුරකින්. චෙයාර්මන්ගෙ එයාර් කන්ඩිෂන් කොරපු කාර්යාලෙට ඇතුල් වෙන්න ලැබුන වගේ වෙලාවකට විතරය්.


එහෙම ඇතුල් වෙන්න වුනේ මොකක් හරි රියල් සීරියස් ලෙඩක් දාගෙන මිසක්, සේවය අගය කිරීමකට හෙම නෙමේ කවදාවත්. ඒ හිංද වායු සමීකරණෙ සැප විඳින්ට නෙමේ, ගොතා ගත්ත බොරුව, පැටලවෙන්නෙ නැතුව කියාගන්න එක තමා, වගේ වෙලාවට, ඔලු කට්ට ඇතුලෙ වැඩ කොලේ. අනෙක අපි වැඩ කොලේ කුරුණෑගල. මේ කියන කාලෙ, ලංගම වයඹ, අරව, මේව, කියල බෙදල නැහැ. හෙඩ් ඔෆීස් එක තිබ්බෙ නාරාහේන්පිට. බටා එහෙම ලැබුනත්, කොළඹ යනව කියන්නෙ, දවසක්ම ගත වෙන, හෙන දුෂ්කර ක්‍රියාවක්.


මොනා හරි වැඩකට, හෙඩ් ඔෆිස් ගියා බුන්ට. එහෙදි දැක්ක චෙයාර්මන්ගෙ පුටුව. ඒ ජාතියෙම එකක් ඌටත් ඕනේ කියල අපේ අනුමැතිය නැතුවම ඌ තීරණය කලා.


බුන්ට හිතා ගත්තොත් ඒක මොන ජාතියෙන් හරි කොරන ජාතියේ පොරක්. බේස් එකට පරණ රිම් එකක්, සස්පෙන්ෂන් ක්‍රියාදාමයට ඌම රෙපෙයාර් කොර ගත්ත ෂොක් ඇබ්සෝබර් එකක්, සීට් එකට අයින් කොරපු මර්සෙඩස් බෙන්ස්  ඩ්‍රයිවින් සීට් එකක සීට් එක සහ සීට් බැක් එක, කැරකෙන කොටසට බෙයාරින්, එහෙම දාල බුන්ට දවස් දෙකෙන් හැදුව පුටුවක්. ඒක චෙයාර්මන්ගෙ කැරකෙන පුටුවට වඩා හැම අතින්ම ඉස්තරං එකක් කියන්න පුළුවන්.


මලකඩ හුරලා, ස්ප්‍රේ පේන්ට් ගහල, පොලිෂ් කරන්න ඕනෙ හරිය පොලිෂ් කරල ගත්තම, අපිට එහෙම බුන්ටගෙ එන්ඩ් ප්‍රොඩක්ට් එක ගැන පොඩ්ඩක් වත් ඊරිසියාවක් නං ඇති උනේ නැහැ.
බොරුනං එහෙම, මේක  කියවන කට්ටිය පරිස්සං වෙන එක හොඳා අකුණු වලින්.

උයාසේන බුන්ටගෙ ඇත්ත නම, දයාසේන බණ්ඩා. බුන්ට ස්ටෙන්සිල් එකක් කපල, සීට් එකේ පිට හේත්තු වෙන පැත්තෙ, පිටිපස්සෙ ස්ප්‍රේ කලා උගේ ඇත්ත නමෙන් කෑල්ලක් DAYA කියල. හරියට උගෙ පුටුව අපි හොරකං කරය් වගේ.

වැඩපොලේ හිටිය බල්ලෙක්, ඌට හැමෝම ඉතුරු වෙන කෑම දීල, බල්ලෙක් නෙමේ, ඌරෙක් වගේ. උගෙ නම "ටොමිය" (ඌට නම ලැබුන හැටි වෙන පෝස්ට් එකකින් බලාපොරොත්තු වෙන්න -දැම්ම කප් එක ගැහුවෙ නැත්තන්, කියන්න කතා නැවකට).  ටොමිය
බල්ලෙක් නෙමේ වැකියුම් ක්ලීනරයක්. කෑමක් උගෙ ලඟින් ගියත් ඌ ඇදල ගන්නව

අපි දන්නෙත් නැහැ, අපේ කිසි සම්භන්දෙකුත් නැහ, පහුවෙනිද ටොමිය දයා වෙලා. බුන්ටගෙම භාෂාවෙන් කිව්වොත් කව්ද "### පුතෙක්" අර ස්ටෙන්සිල් එක පාවිච්චි කොරල සිල්වගෙ ඇඟ දෙපැත්තෙම, DAYA කියල ගහල.

නම් වෙනස් කිරීම,  ටොමිය නං පය්සෙකට ගනං ගත්තෙ නැහැ.

Thursday 27 October 2011

" තෝ හින්ද මං "


දැන්නම් කොහොමද දන්නෙ නැහැ, ඉස්සර කොය් තරං පළපුරුදු රියදුරෙක් වුනත්, ලංගම සේවයට බැඳෙනවා නං අනිවා, ඩෙෆා, ලංගම රියදුරු පුහුණුවට ගිහින් පාඨමාලාව අවසානෙ පවත්වන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ වලින් සමත් වෙන්නම ඕනෙ. ඒ කාලේ බස් එකේ කොය් තරං ලයිට් සිග්නල් තිබුනත්, හරවනකොට, වේගය අඩු කරන කොට එහෙම, "හෑන්ඩ් සිග්නල් " භාවිතා කරන එකත් අනිවාර්යය්. ඒ කාලෙ ඔය පුහුණුවට මට මතක විදියට මාස තුනක විතර කාලයක් ගන්නව. හැබය් පුහුණුවෙන් පස්සෙ පිට වෙන්නෙ සුපිරි රියදුරු මහත්තුරු. "දෝවේ අනතුර" වගේ දෙක තුනක් ඇරුනම, ලංගම බස්රථ, ඒ කාලෙ හරිම අඩුවෙන් අනතුරකට භාජනය වුනේ. ඒකට හේතුව අර සුපිරි පුහුණුව වෙන්න ඕනෙ.

පසු කාලෙක Hazard Signal ආදී නවතම සිග්නල් එහෙම තියෙන බස්රථ ලංගමට එන්න පටන් ගත්තම, ලංගම ව්‍යවස්ථා වල අකුරටම කියල තිබුනත්, රියදුරු මහත්තුරු ඔය හෑන්ඩ් සිග්නල් භාවිතාව එහෙම ටිකෙන් ටික අත හැරල ලයිට් සිග්නල් විතරක් පාවිච්චි කරන්න ගත්ත. හැබය්, කව්රු හරි ලංගම ඉහල නිලධාරියෙක් එහෙම බස් එකට ගොඩ වුනොත් යස අගේට උගන්නල තියෙන විදියට, ලෙසටම සිග්නල් දානව විතරක් නෙමේ, හරිම විනීත රියදුරන් බවට පත් වෙනව, අඩු ගානේ අර මනුස්සය බැහැල යනකම් වත්.

ඔය කියන කාලෙ එක්තරා ශ්‍රේනියකින් ඉහල නිලධාරීන්ට, ලංගමෙන් අවරුද්දකට සැරයක් නිකුත් කරනවා, සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලෙන් නිෂ්පානය කල, විධායක ශ්‍රේණියේ හොඳ හම් බෑග් එකක්.  ඒක දෙන්නෙ, ලියකියවිලි අඩංගු ෆයිල් එහෙම දාගෙන යන්න. බත් මුලත් යන්නෙ ඔය බෑග් එකේම තමා හැබැය්.  දැන් බෑග් වල වගේ zip එකක් නෙමේ ඒ බෑග් වල තිබුනෙ, බකල් එක්ක පටි දෙකක්.  ඉහලම ශ්‍රේණි වල අයට  ලැබුනෙ සාක්කු පහේ ඒව, යන්තන් විධායක කට්ටියට, සාක්කු තුනේ ඒව. ඔය ජාතියෙ බෑග් එකක් අරගෙන බස් එකට නැගල, "පාස් එකක්" කිව්වම සාමන්යෙන් කොන්දොස්තර මහත්තුරු, "පාස් එක" කියල ලංගම කට්ටිය හඳුන්වන, "නිදහස් ගමන් බලපත්‍රය" බලන්න ඉල්ලන්නෙත් නැහැ. බොරු නං මාරයගෙන් අහල බලන්න.

මං විස්තර කරපු ඒ බෑග් එකක්, ඒ කාලෙ සෑහෙන්න ගණන්. සාමාන්‍ය  ලංගම සේවකයෙක්ගෙ මාසෙ පඩිය විතර ඕනෙ, එයින් එකක් ගන්න. අනික හැම තැනම ගන්නත් නැහැ, සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලේ ප්‍රදර්ශනාගාරෙ වගේ තැන්වල විතරය් ඒව විකුණන්න තිබ්බෙ. අව්රුද්දකට සැරයක් වගේ අලුතෙන් එකක් ලැබුන හින්ද, සමහර නිලධාරි මහත්තුරු, පරණ බෑග් එක හිතවත් ක්ලාක් මහත්තුරුන්ට එහෙම දීල දානව. සමහරු පරණ එකම තියාගෙන අලුත් එක විකුණල දානව කියලත් අහල තියෙනව.

විධායක ශ්‍රේණි වල නොවුන සමහරුත්, කොහොම හරි හොයාගෙන ඔය ජාතියෙ බෑග් එකක් එකක් එල්ලගෙන වැඩට යනව, එනව, මං ලංගම සේවය කරන කාලෙ, අනන්ත දැකල තියෙනව. සමහර තරුණ වයසෙ කට්ටිය, ඇතුලෙ කරන්නෙ මොන වගේ රස්සාවක් වුනත්, ෆුල් කිට ගහල, executive බෑග් එකක් අරගෙන, පුතය වගේ, වැඩට එන්නෙ.

ලංගම සේවකයන්ගෙ තිබුන, අඳුනන්නෙ නැති රියදුරු මහත්තයෙකුට වුනත්, තමං ලංගම සේවකයෙක් කියල දන්වන සිග්නල් එකක්. ඒක හරිම ප්‍රයෝජනවත්, කට කැපෙන්න ලෝඩ් වෙලා, බෙල් තුන ගහල, ඇඟිල්ලක් ගහන්න ඉඩ නැතුව, එන බස් එකක් නවත්ත ගන්න. ඔය සිග්නල් එක දාන්නෙ, සෙනග පිරිල ඉන්න බස් හෝල්ට් එකේ ඉඳල හෙම නෙමේ. හෝල්ට් එකට මීටර් විස්සක් තිහක් ඉස්සෙල්ල හරි, ඒ වගේ දුරකින් හෝල්ට් ඒක පහු කරල ඉඳල. සිග්නල් එක දැක්කම ඩ්‍රයිවර් උන්නැහෙ, කෙනෙකුට බස් එකට නගින්න බැරි පුළුවන් ගානට බස් එක ස්ලෝ කරනව. එතකොට සුටුස් ගාල එල්ලෙන්න ඕනෙ, හුඟක් වෙලාවට ඉස්සරහ දොරෙන්. හෝල්ට් එකේ කට්ටිය දුවගෙන එනකොට, බස් එකේ දුම් පාරවත් ඒ හරියෙ නැහැ. ඔය වැඩේට හෝල්ට් එකක් අත්‍යාවශ්‍යම නැහැ, සමහරු තමංගෙම ගේ ගාවින් බස් එකට නගින්නෙ.

මේ කියන සිද්ධිය වුන කාලෙ වෙනකොට දේශපාලන උසස් වීම්, ස්ථාන මාරු, නව පත්වීම්, එහෙම ලංගමේට ටික ටික බෝවෙන්න පටං අරං.  අලව්ව ඩිපෝවෙන්, කොළඹ - කුරුණෑගල, දුවපු බස් කීපෙන් එකක් එලෙව්වෙ, දැන් මට නම මතක නැති, ටිකක් වයසක, පළපුරුදු ඩ්‍රයිවර් උන්නැහෙ කෙනෙක්. කොළඹ ඉදල දවල් මධ්‍යාන කාලෙ කුරුණෑගල එන ට්‍රිප් එකේදි, නිට්ටඹුව බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක හොඳටම පිරිල තියෙනව. ස්ටෑන්ඩ් එකෙන් බස් එක එලියට දානකොට, හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක්, අර මං කලින් කිව්ව ලංගම සිග්නල් එක දාල. පොරගෙ අතේ executive බෑග් එකකුත් තිබිල තියෙනව. අපේ ඩ්‍රයිවර් උන්නැහෙත් බ්රේක් පාරක් ගහල, මහත්තයව ඉස්සර ෆුට් බෝඩ් එකෙන් බස් එකට නග්ග ගෙන.

අපේ ඩ්‍රයිවර් උන්නැහෙ කෝකටත් හරියටම මාර්ග නීති වලට එහෙම එකඟව, සිග්නල් ඔක්කොම දාල කරල, ඉතාම විනීත විදියට බස් එක එලෝගෙන ගිහින් තියෙනව. අර මහත්තය බොහොම විනීත හිනාවකුත් දාල, අලව්වෙන් බැහැල ගියාලු. ඩ්‍රයිවර් උන්නැහෙ ඊට පස්සෙ පුරුදු විදියට, පාරෙ යන ඔක්කොම වාහන ඉස්සර කරගෙන, වංගු එහෙම කන බිම ගෑවෙන සයිස් එකෙන් අරගෙන, කුරුණෑගල ගිහින්, ආපහු අලව්ව ලෝඩ් එකක් ගහන් ආවලු.

බස් එක ඩිපෝ ආවම හැමදාම කරන විදියටම, ඉන්ධන පුරවන තැනට අරං ගිහින් තියෙනව අපේ ඩ්‍රයිවර් උන්නැහෙ. මොකද කොන්දොස්තර මහත්තය ඩිපෝවට සල්ලි බැඳල, ලියකියවිලි රාජකාරි ඉෂ්ට කරන කම් රියදුරුගෙ රාජකාරිය තමා, බස් එකට ඩීසල් ගහල, තෙල් වතුර චෙක් කරල, හවස මුරය ධාවනය කරන ඩ්‍රයිවර් උන්නැහෙට භාර දෙන එක. ඩීසල් පුරවල, එන්ජින් ඔයිල් එහෙම චෙක් කරන්න ඉන්නව, "ඉන්ධන පිරවුම් කරු" කියල රාජකාරියක් කරන කට්ටිය හැම ඩිපෝවෙම.

අපේ කොළඹ - කුරුණෑගල ධාවනය ඉවර කරපු රියදුරු මහත්තයා, ඉස්සරහ බස් එකට ඩීසල් ගහන පුද්ගලයාව දැක්කම මතක් වුනා, මෑන්ස් ව කොහේදි හරි දැකල පුරුදු බව. මජං තැවරුණු කාකි කොට කලිසමක් ගහගෙන, ඉරුන කමිසයක් ඇඳගෙන, ඩීසල් ගහන්නෙ, නිට්ටඹුවෙ ඉඳල ආපු මහත්තය කියල මීටර් වුනේ තත්පර ගානක් ගියාට පස්සෙ.

ඩ්‍රයිවර් උන්නැහෙ හිතල නෙමේ, පොරට නිකම්ම කියවුනාලු හෙන සද්දෙන් "ඈ...බොල ### පුතෝ, තෝ හින්ද මං දාපු සිග්නල් කැටියක්" කියල.
http://observer-nireekshaka-observer.blogspot.com/2011/10/blog-post_11.html

Sunday 23 October 2011

"උයාසේන බුන්ට"

 

මේකත් මං කුරුණෑගල, ලංගම ප්‍රාදේශීය වැඩපොලේ වැඩ කරන කාලෙ කතාවක්. (කුරුණෑගලඋතුර ඩිපෝවෙවත් අලව්ව ඩිපෝවෙවත් නෙමේ)

 අපේ සෙට් එකේ හිටිය, දයාසේන බණ්ඩා කියල කුරුණෑගල පැත්තෙම එකෙක්. බය නැතුව ඇත්තම නම පාවිච්චි කරන්නෙ, සෑහෙන විශ්වාසයක් තියෙන හින්ද, පොර සිංහල බ්ලොග් ගැන අහලවත් නැහැ කියල. හැබය් ඔය සෙට් එකේ හිටිය, කුරුණෑගලම දෙන්නෙක් තුන් දෙනෙක් නං, මගෙ බ්ලොග් එක කියෝනව, මම මගෙ බ්ලොග් එක ගැන සහ අනෙත් බ්ලොග් වලට යන්න පාර කියා දීල කර ගත්ත කුසල කර්මය නිසා. එකෙක් නං ලඟදි ඉඳන් කොමෙන්ට් එහෙමත් දාන්න තරං දියුණු වෙලා. දයාසේනට ආරංචි වුනොත් ඒ යාළුවන්ගෙන් තමා ඉතිං, ආරංචි වුනොත් මගෙ මළ ගිය දෙමව්පියන්ට දයා පින් දෙන හැටි මැවිල පේනව. දයාසේන බන්ඩගෙ අස්සන කියවනකොට ඒක පේන්නෙ "උයාසේන බුන්ට" වගේ. හැමෝම වගේ මිත්‍රයො පොර ඇමතුවෙ බුන්ටකියන ආදර නාමෙන්.

ඒ කාලෙ රෑට  O .T . පාරක් එහෙම දානකොට  අපේ  කෂ්ටිය ඔය හදන්න ගෙනාපු බස් එකක් හරි, බ්රේක්ඩවුන් වෑන් එකක් හරි, අරගෙන යනව, ගැට්ටුවාන හංදියෙ තිබුන රෑ කඩේකට තේ බොන්න. ඔය ගමන යන්නෙ රෑ එකට දෙකට විතර. දවසක් රෑ තේ බොන්න යනකොට, බුන්ටත් කොහෙද නිදාගෙන ඉඳල ඇහැරිල, දුවගෙන ඇවිත් වාහනේට නැග්ග. කස්ටියම පුරුදු පරිදි, පුරුදු කඩේටම ගිහින් තේ බිව්ව. කඩේ මුදලාලිත්  අපේ  කෂ්ටිය   රෙගියුලර් කස්ටමර්ල නිසා වැඩිය හොඳින් සැලකුවෙ නැතත්, සලකනව වගෙ පෙන්නගෙන තමය් ඉන්නෙ කවදටත්.

දන්නවනෙ, ඉතින් ඔය පොඩි කඩවල සීන් එක, විස්වාසෙට තමා ගනුදෙනු සිද්ද වෙන්නෙ. කට්ටිය  තේ බීල ඉවර වෙලා කවුන්ටරේ ගාවට ගිහින් කියනව, කාපු බීපු දේවල්. වඩේ දෙකය් ප්ලේන්ටියය්, පාන් කාලය් පරිප්පු එකය් ටී එකය්, කොකා කෝල එකය්, බ්‍රිස්ටල් දෙකකුත් දෙන්න මුදලාලි, ආදී වසයෙන්.  මුදලාලිත් ගාන කියල සල්ලි ගන්නව.

බුන්ට කවුන්ටරේ ගාවට ගිහින් කිව්වලු  කළු කෑලි පහය්, ප්ලේන්ටියය් කියල. මුදලාලි ඇහුවලු, “මොන කළු කෑලිද මහත්තය කියල. බුන්ටට පෙන්නන්න විදියක් නැහැ, ෂෝ කේස් එකේ පිඟානක තිබුන කළු කෑලි කනකොට මූට රහ වැටිල ඔක්කොම කාල. දැන් ෂෝ කේස් එකේ කළු කෑලි නැහැ. මුදලාලි ටිකක් කල්පනා කරල ඇහුවලු, "මහත්තය කෑවෙ යටම තට්ටුවෙ, මුල්ලකට වෙන්න, තනි පිඟානෙ තිබුන කළු කෑලිද" කියල. බුන්ට කිව්වලු  " ඔව්...වොව් ඒව තමා මුදලාලි" කියල. මුදලාලි කිව්වලු , "ඒවට සල්ලි ඕනෙ නැහැ මහත්තය, ප්ලේන් ටී එකට විතරක් සල්ලි දෙන්න" කියල. බුන්ටට විස්වාස කරගන්න බැහැ උගෙ ලක් එක.  මු ඒත් ප්ලේන් ටී එකට ගෙවල එහෙම, මුදලාලිගෙන් ඇහුවලු මොකද මුදලාලි කළු කෑලි වලට සල්ලි එපා කිව්වෙ කියල.

මුදලාලි කිව්වලු,  වැඩිය ගානකට නොගෙන   ඒව මහත්තය, පුස් කාපු කළු දොදොල් වගයක්, මං කොල්ලට කිව්ව විසි කරන්න කියල. ඒකට අමතක වෙලාද කොහෙදකියල.

(කියවන කට්ටිය හොඳට අවධාරණය කොරන්න ඕනෙ කාරනාවක් තියෙනව, වෙච්ච දේවල් ඔක්කොම ලියල තියෙන්නෙ "ලු" කියල, මං ඔය පළාතෙවත් උන්නෙ නැහැ.)